Skip to main content

MWC සමුළුවට සමගාමීව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GSMA ආයතනය අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක්.

MoT Editor

පසුගිය ජූනි 25 වන දින චීනයේ පැවැති MWC GSMA සාකච්ඡාවට සමගාමීව, ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ සහ ඩිජිටල් න්‍යාය පත්‍රය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ගෝලීය ජංගම සන්නිවේදන සංගමයේ (GSMA) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අතිශය වැදගත් සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය (ඉංජිනේරු) එරංග වීරරත්න මහතා සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා එක්ව සිටියහ. ගෝලීයඩ් ජංගම සන්නිවේදන සංගමය (GSMA) නියෝජනය කරමින් එහි අසියා පැසිෆික් කලාපීය ප්‍රධානී ජුලියන් ගෝමන් (Julian Gorman), ආසියා පැසිෆික් කලාපීය (APAC) පොදු ප්‍රතිපත්ති සහ බාහිර කටයුතු පිළිබඳ ප්‍රධානී ජෙනට් වයිට්, එම කලාපයේ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ බෙන්සන් කෝ සහ දකුණු ආසියානු කලාපීය සංඛ්‍යාත සහ ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ ආශිෂ් ගාර්ග් යන මහත්ම මහත්මීහු මීට සහභාගී වූහ.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය ව්‍යාප්ත කිරීමේ උපායමාර්ග, 5G සේවා ප්‍රායෝගිකව යොදාගත හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම, ඒකාබද්ධ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද , තාක්ෂණික මධ්‍යස්ථභාවය, යටිතල පහසුකම් හවුලේ භාවිත කිරීම සහ සයිබර් ආරක්ෂාව යන ප්‍රධාන කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගැනිණි.

මීට අමතරව, මෙරට විකාශන කටයුතු ඩිජිටල්කරණය කිරීම (Digital Switchover) සම්බන්ධයෙන් TRCSL ආයතනය සමඟ මෑතකදී සිදුකළ මැදිහත්වීම්, එළඹෙන 2027 ලෝක ගුවන්විදුලි සන්නිවේදන සමුළුව (WRC-27) සඳහා අවශ්‍ය මූලික සූදානම මෙන්ම GSMA ආසියා පැසිෆික් අන්තර්-ක්ෂේත්‍ර වංචා මර්දන කාර්යසාධක බලකායේ (ACAST) නවතම යාවත්කාලීන කිරීම් පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන අපේක්ෂාවන් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පුළුල් ඉදිරි දැක්ම සාක්ෂාත් කරගැනීම උදෙසා ඉදිරියටත් අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී සිය පූර්ණ එකඟතාවය පළ කළහ.

image 01image 02image 03image 05image 04image 06