Skip to main content

AI නීති සම්පාදනය වන වේදිකාවෙහි අප වැනි රටවලටත් ඉඩක් අවශ්‍යයි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

MoT Editor

චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට (WAIC) සමගාමීව පැවැත්වුණු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සමුළුව අමතමින් ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සුවිශේෂී දේශනයක් පවත්වන ලදී. "දීප්තිමත් අනාගතයක් සඳහා AI හවුල්කාරිත්වය" යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සමුළුවට ලොව පුරා විවිධ රටවල ඩිජිටල් අමාත්‍යවරුන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් විශාල පිරිසක් සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ රටවල නියෝජිතයින් තම රටවල දැනට පවතින ඩිජිටල් යටිතල පහසුකම් සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ වර්ධනය මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාවයේ ඇති වැදගත්කම පිළිබඳව අවධානය යොමු කලහ.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, AI තාක්ෂණය දැනටමත් ලොව පුරා රාජ්‍ය සේවා සහ ආර්ථිකයන් තීරණය කරමින් පවතින බැවින්, ගෝලීය AI පාලන රාමුව සකස් කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල හඬට සමාන අවස්ථාවක් හිමිවිය යුතු බව අවධාරණය කළේය. අද අප හමුවේ ඇති සැබෑ ප්‍රශ්නය AI මඟින් සමාජය වෙනස් කරන්නේද යන්න නොව, එම පරිවර්තනයේ ප්‍රතිලාභ සැමට සාධාරණව බෙදී යන්නේද නැතහොත් එමඟින් නීති රීති සම්පාදනය කරන රටවල් සහ එම නීතිවලට යටත් වන රටවල් අතර පරතරය තවත් පුළුල් කරන්නේද යන්න බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සඳහා ශ්‍රී ලංකාවේ පිළිතුර ඉතා සරල බවත්, ගෝලීය AI පාලනය සැකසිය යුත්තේ දකුණු අර්ධගෝලයේ රටවල් මේ මේසය වටා වාඩි කරවා ගනිමින් මිස, තීරණ ගැනීමෙන් පසුව ඔවුන්ව දැනුවත් කිරීමෙන් නොවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. AI තාක්ෂණය සැබෑ හවුල්කාරිත්වයක් විය යුත්තේ එහි පාලන නීති සහයෝගීතාවයෙන් යුතුව සම-කර්තෘත්වයෙන් ලිවීමෙන් බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, පසුගිය වසර දෙකක කාලය තුළ වගකීම්සහගත AI තාක්ෂණික භාවිතයක් සඳහා ශ්‍රී ලංකාව DIGIECON 2030 ජාතික ඩිජිටල් ආර්ථික හරහා ශක්තිමත් ඩිජිටල් පදනමක් සහ ස්වෛරී ඩිජිටල් යටිතල පහසුකම් සකස් කර ඇති බව ප්‍රකාශ කළේය.

එමෙන්ම, ආරක්ෂිත AI සේවාවන් සඳහා පදනම වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතා (SLUDI) වේදිකාව මේ වන විටත් ස්ථාපිත කර ඇති බවත්, නුදුරේදීම පිහිටුවීමට නියමිත ජාතික AI ආයතනය හරහා AI පර්යේෂණ, ආචාරධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳ දේශීය ධාරිතාව වර්ධනය කරන බවත් හෙතෙම සඳහන් කළේය. ගෝලීය AI පාලන ප්‍රයත්නය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය මෙහෙයවන ප්‍රධාන මූලධර්මයක් ලෙස, ගෝලීය වශයෙන් අන්තර්-ක්‍රියාකාරී AI පද්ධති සමඟ සම්බන්ධ වන අතරම තමන්ගේම දත්ත සහ ඩිජිටල් යටිතල පහසුකම් පාලනය කිරීමේ අයිතිය රටවල් සතු විය යුතු බව පෙන්වා දෙන ලදී. මීට අමතරව, AI ආරක්ෂාව පිළිබඳ ගෝලීය නීති අර්ථවත් වීමට නම් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික ධාරිතාව ලබා දිය යුතු බවත්, ඕනෑම AI පද්ධතියක අවසාන සාර්ථකත්වය මැනිය යුත්තේ තාක්ෂණික දියුණුවෙන් පමණක් නොව ඉන් සාමාන්‍ය ජනතාවගේ ජීවිත නංවාලන ආකාරයෙන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථ්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යශයේ උපදේශක සුමුදු රත්නායක මහාතා ඇතුළු, කලාපීය රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

image 01image 02image 03image 05image 04image 06