Skip to main content

MoT Editor

ශ්‍රී ලංකාවේ ඩිජිටල් මූල්‍ය යටිතල පහසුකම් යාවත්කාලීන කරමින්, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (Virtual Asset Service Providers - VASPs) සඳහා විධිමත් සහ ශක්තිමත් නියාමන රාමුවක් සකස් කිරීමේ අරමුණින් පැවැත්වෙන 5 වන අනුකාරක සභා රැස්වීම ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාව තුළ VASP ක්ෂේත්‍රය අධීක්ෂණය කිරීම, නියාමනය කිරීම සහ අනුකූලතා පද්ධති ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී ප්‍රධාන අවධානය යොමු විය.

මෙහි විශේෂ අංගයක් ලෙස, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා අදාළ වන මූල්‍ය කාර්ය සාධක බලකායේ (Financial Action Task Force - FATF) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳ විශේෂ තාක්ෂණික සහායක සැසියක් ද පවත්වන ලදී.

එක්සත් රාජධානියේ HM Treasury ආයතනය නියෝජනය කරමින් පැමිණි ක්ලෙයාර් විල්සන් සහ හැලා නජ්ජාර් යන මහත්මීන් විසින් මෙහෙයවන ලද මෙම සැසියේදී, ගෝලීය VASP නියාමන අත්දැකීම්, FATF හි ප්‍රධාන නියාමන අපේක්ෂාවන් සහ ශ්‍රී ලංකාවට වඩාත් ගැලපෙන නීතිමය හා අධීක්ෂණ රාමුවක් සකස් කරගැනීමේ ප්‍රායෝගික ප්‍රවේශයන් පිළිබඳව දීර්ඝ ලෙස තොරතුරු ඉදිරිපත් කෙරිණි.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි (AML/CFT) ආරක්ෂණ ක්‍රමවේද නංවාලමින්, ශ්‍රී ලංකාවේ VASP නියාමන රාමුව ජාත්‍යන්තර මට්ටමට ගෙන ඒම උදෙසා තැබූ තීරණාත්මක පියවරක් ලෙස මෙම සාකච්ඡාව හඳුන්වාදිය හැකිය. නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය තාක්ෂණික හා මූල්‍ය ප්‍රමිතීන් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඒකාබද්ධ කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්; වරුණ ශ්‍රී ධනපාල මහතා , ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය ඇතුළුව රාජ්‍ය හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

image 01image 02image 03image 05image 04

MoT Editor

A special discussion focusing on the advancement of digital education and the integration of modern technology into education was successfully held on 6th August 2026 at the Sri Lanka Institute of Development Administration (SLIDA).

The discussion was held with the special participation of Mr. Sanjay Kumar, former Secretary of the Department of School Education and Literacy of the Government of India, and was co-chaired by Eng. Eranga Weeraratne, Hon. Deputy Minister of Digital Economy, and Dr. Madhura Seneviratne, Hon. Deputy Minister of Education, Higher Education and Vocational Education. The session was moderated by Ms. Vishakha Nanayakkara, Senior Lecturer at the Department of Computer Science and Engineering, University of Moratuwa.

The primary objective of the discussion was to facilitate the exchange of experiences, practical approaches and knowledge gained in promoting digital education. Particular attention was given to ensuring equity in digital education, leveraging Digital Public Infrastructure (DPI) for education, identifying existing challenges and barriers and exploring solutions, as well as developing high-quality educational content.

In addition, extensive discussions were held on the integration of traditional and digital approaches, incorporating Artificial Intelligence (AI) into the education process, enhancing the digital skills and capabilities of teachers, and building a strong and inclusive education system through the active participation of all stakeholders.

The discussion was jointly organized by the Ministry of Digital Economy, the Ministry of Education, Higher Education and Vocational Education, the Ministry of Public Administration, Home Affairs, Provincial Councils and Local Government, and the Sri Lanka Institute of Development Administration (SLIDA).

The event was attended by Chief Advisor to the President on Digital Economy Dr. Hans Wijayasuriya, Secretary to the Ministry of Digital Economy Varuna Sri Dhanapala, Ms. Devika Lal, Counsellor (Economic and Commercial) at the High Commission of India in Colombo, Director General of the Sri Lanka Institute of Development Administration (SLIDA) Mr. Vimukthi Janadara, senior officials of SLIDA, experts in the information technology sector, officials from the Ministry of Education, university academics, representatives of the private sector, and other stakeholders.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ පිවිසීම (Access) වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට (Block) ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් ඊයේ (04) දින පියවර ගෙන ඇත.

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය (Gambling Regulatory Authority) විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ (Gambling Regulatory Authority Act, No. 17 of 2025) ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවකි. ඒ අනුව, අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන ලද නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි:

  1. 1xbet.com
  2. betway.com/en-lk
  3. 22bet.com
  4. melbet.com
  5. unibet.com
  6. betfair.com
  7. dafabet.com
  8. bet365.com
  9. 1win.com
  10. spinbetter.com
  11. 10cric.com
  12. bc.game
  13. megapari.com
  14. pin-up.bet
  15. stake.com
  16. mostbet.com
  17. parimatch.com
  18. betwinner.com
  19. linebet.com
  20. 4rabet.com
  21. rajabets.com
  22. dbbet.com
  23. coldbet.com
  24. WinWin

ශ්‍රී ලංකාවේ නීතිමය රාමුවට පටහැනිව ක්‍රියාත්මක වන මෙවැනි අවසර නොලද අන්තර්ජාල සූදු වේදිකාවන්හි (Online Gambling Platforms) නිරත වීමෙන් සහ මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

MoT Editor

ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කරමින්, කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ තාක්ෂණික බලවතෙකු ලෙස රට ඉදිරියට ගෙන යාමේ ජාතික වැඩසටහන වන "ශ්‍රී ලංකා AI සතිය 2026" (Sri Lanka AI Week 2026) පිළිබඳ නිල මාධ්‍ය හමුව අද (අගෝස්‍තු 5) දින සාර්ථකව පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ SLT-MOBITEL ආයතනය එක්ව සංවිධානය කරන මෙම සුවිශේෂී ජාතික වැඩසටහන එළඹෙන 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම මාධ්‍ය හමුවේදී ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා විසින් "Sri Lanka AI Week 2026" නිල වෙබ් අඩවිය එළිදක්වන ලදී. එහිදී නිල ප්‍රධාන දේශනය සිදුකළ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පෙන්වා දුන්නේ, ගල් යුගයේ සිට තොරතුරු යුගය දක්වා පැමිණි මානව සංවර්ධනය මේ වන විට "IQ යුගය" (IQ Era) වෙත සංක්‍රමණය වී ඇති බවයි. ගෝලීය තාක්ෂණික සේවාවන්හි හුදෙක් පාරිභෝගිකයෙකු පමණක් නොවී, AI තාක්ෂණය තුළින් සක්‍රීය නිෂ්පාදකයෙකු බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බවත්, ඩොලර් බිලියන 5 ක අපනයන ආදායම් ඉලක්කය සපුරා ගැනීමට නම් දේශීය IT ක්ෂේත්‍රය පර්යේෂණ සහ සංවර්ධන (R&D) සමඟ මුසු වූ AI හැකියාවන්ගෙන් බලගැන්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

තවද, 2025 වසරේ පැවැත්වුණු ප්‍රථම ජාතික AI ප්‍රදර්ශනයෙන් සහ සමුළුවෙන් ලබාගත් සාර්ථක පළපුරුද්ද පදනම් කරගනිමින්, මෙවර කලාපීය සහ ගෝලීය හවුල්කරුවන්ගේ දායකත්වයෙන් මෙම වැඩසටහන වඩාත් පුළුල් ලෙස සංවිධානය කර ඇත. මෙවර "AI Amplified" තේමාව යටතේ ජාත්‍යන්තර සමුළුවක් (Conference), තාක්ෂණික ප්‍රදර්ශනයක් (Exhibition) සහ දේශීය නවෝත්පාදකයින් ඇගයීමේ සම්මාන උළෙලක් (Award Ceremony) ලෙස මෙය වඩාත් පුළුල්ව පැවැත්වේ. කොළඹට පමණක් සීමා නොවී සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි නව පරපුර AI තාක්ෂණය වෙත යොමු කිරීමත්, DIGIECON 2030 සහ SLUDI ව්‍යාපෘති හරහා ශක්තිමත් කෙරෙන ස්වෛරී ඩිජිටල් යටිතල පහසුකම් මත පදනම්ව ජාතික AI ආයතනයක් (National AI Institute) පිහිටුවීමත් අමාත්‍යාංශයේ ප්‍රමුඛ අරමුණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුව ඇමතූ SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සඳහන් කළේ, මේ වසරෙහි SLT සමාගමේ විශාලතම AI පරිවර්තනය සිදුවන බවයි. ඒ අනුව 5G ජාල ව්‍යාප්තිය වේගවත් කිරීම, IP යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ AI දත්ත මධ්‍යස්ථාන (AI Data Centers) ඉහළ මට්ටමකට යාවත්කාලීන කිරීම මඟින් ශ්‍රී ලංකාව ආසියාවේ ප්‍රමුඛ AI කලාපීය මධ්‍යස්ථානයක් (Regional AI Center) ලෙස ස්ථානගත කිරීමට SLT-MOBITEL පූර්ණ දායකත්වය ලබාදෙන බව ඔහු පැවසීය.

අමාත්‍යාංශ ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති වරුණ ශ්‍රී ධනපාල මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ GovTech Sri Lanka සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා සහ SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාස් රෂීඩ් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. මීට අමතරව ළමා ආරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරමින් 'Child Friendly Internet' හි නිර්මාතෘ තීක්ෂණ කුමාර මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

මෙම නිල මාධ්‍ය හමුවේදී 'AI Hub' සහ 'SMART AI' යන නව වැඩසටහන් ද නිල වශයෙන් එළිදක්වන ලද අතර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech, SLT-MOBITEL, විශ්වවිද්‍යාල, නවෝත්පාදකයින් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්ගේ ඒකාබද්ධ දායකත්වයෙන් පැවැත්වෙන මෙම "Sri Lanka AI Week 2026" හරහා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රමුඛතම AI තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ජාත්‍යන්තර තලයේ ස්ථානගත කිරීමට අපේක්ෂා කෙරේ.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයභාවය තහවුරු කෙරෙන මෙම තෙවන ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සක්‍රීය දායකත්වය අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

මීට අදාළ මුල්‍ය කාර්ය සාධක බලකාය (FATF) හඳුන්වා දුන් නිර්දේශ 40 සම්බන්ධයෙන් වූ තාක්ෂණික අනුකූලතාව සහ එම නිර්දේශ ක්‍රියාවට නැංවීමේදී දක්නට ලැබෙන ආසන්න ප්‍රතිඵල 11ක් තුළින් ඇගයෙන සඵලදායීතාව ඇගයීම මෙම අන්‍යෝන්‍ය ඇගයීමේදී සිදු කෙරේ.

ඒ සඳහා වූ ඇගයීම් කණ්ඩායමේ ක්ෂේත්‍ර නිරීක්ෂණය මේ වසරේදී සිදු කෙරේ. ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ අදාළ නිර්දේශ විධිමත්ව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු ආයතන මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කිරීමෙන් අදාළ ක්‍රියාවලිය සාර්ථක කරගත හැකි බවද පෙන්වා දුන්නේය.

මෙම ඇගයිම් ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාව සූදානම් වූයේ 2023 වර්ෂයේ සිට බවත්, පසුගිය වසර දෙක තුළ දැඩි කාල සීමා පනවමින් මෙම සූදානම තීව්‍ර කර තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

මෙය ජාතික මට්ටමේ විගණන ක්‍රියාවලියක් වන අතර, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින් එය සිදු කරනු ලබයි. දේශීයව මෙම ක්‍රියාවලිය සඳහා පාර්ශ්වකාර රාජ්‍ය ආයතන 25ක් පමණ සම්බන්ධ වන අතර, එහි සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලබයි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම මැඬ පැවැත්වීම සම්බන්ධයෙන් වූ කාර්ය සාධක බලකාය විසින් අදාළ ඇගයීම් ක්‍රියාවලියේදී මෙම පාර්ශ්වකරුවන් ක්‍රියාත්මක කළයුතු ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය අධීක්ෂණය කරනු ලැබේ.

ඒ අනුව මීට අදාළව ඉදිරිපත් කළ නිර්දේශ සහ ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරුණු අතර එහිදී මතුව ඇති ගැටලු සහ ඒවා කඩිනමින් විසඳා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කෙරිණි. මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු වන සූදුව (Online Gambling) නැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාළ නීති පැනවීමේ කටයුතුවල වත්මත් තත්ත්වයද ජනාධිපතිවරයා මෙහිදී විමසීමට ලක් කළේය.

එමෙන්ම අපරාධයකින් උත්පාදිත දේපළ කළමනාකරණ අධිකාරිය පිහිටුවීමේ කටයුතුවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලූ ජනාධිපතිවරයා එම අධිකාරිය වඩාත් ක්‍රියාකාරී මට්ටමකින් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. එම අධිකාරිය පිහිටුවීමේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර කාර්යමණ්ඩල බඳවා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බව නිලධාරීහු මෙහිදි පෙන්වා දුන්හ.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා යන මහත්වරුද, අමාත්‍යාංශ ලේකම්වරු, නීතිපති පාරින්ද රණසිංහ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ යන මහත්වරුද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතනවල ප්‍රධානීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වත්මන් නිර්ණායක සමාලෝචනය කිරීම සම්බන්ධයෙන් සිදු කෙරෙන ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය.

ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමු කෙරිණි.

අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී දැනට ක්‍රියාත්මක වන තේරීම් නිර්ණායකවල පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීමේ අරමුණින් එම නිර්ණායක සමාලෝචනය කරන ලෙස කාරක සභාව මීට පෙර උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනුව පත් කරන ලද විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කර ඇති නව ක්‍රමවේදයට අදාළ නියමු අධ්‍යයනය (Pilot Study) සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී.

දැනට ක්‍රියාත්මක වන ප්‍රතිලාභීන් තෝරාගැනීමේ නිර්ණායක වෙනුවට, සමාජ-ආර්ථික අවදානම් තත්ත්වයන් පදනම් කරගත් නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට යෝජනා කර ඇති බව මෙහිදී නිලධාරීහු සඳහන් කළහ. එම යෝජිත නව ක්‍රමවේදය පරීක්ෂා කිරීම සඳහා තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක නියමු අධ්‍යයනයක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.

මෙම නව ක්‍රමවේදය යටතේ එක් පවුලක රැකියා හා ජීවනෝපාය සුරක්ෂිතභාවය, පවුල් සංයුතිය, වයස්ගතභාවය, ආබාධිතභාවය, දිගුකාලීන රෝගී තත්ත්වයන්, නිවාස සහ මූලික සේවා සඳහා ප්‍රවේශය මෙන්ම ණය බර ඇතුළු සමාජ-ආර්ථික අවදානම් සාධක සලකා බැලීමට යෝජනා කර ඇති බව ද මෙහිදී අනාවරණය විය. යෝජිත නව ක්‍රමවේදය සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව නියමු අධ්‍යයනය ක්‍රියාත්මක කිරීම සඳහා කාරක සභාවේ අනුමැතිය ලබා දෙන ලදී.

මෙම රැස්වීම සඳහා කාරක සභාවේ සාමාජිකයන් වන ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය වීරරත්න; ගරු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය නන්දන මිල්ලගල, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි, චතුර ගලප්පත්ති යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

image 01image 02image 03image 05image 04image 06

Senior government officials and other dignitaries at an event on Friday where Sri Lanka’s proposed $5 billion export revenue from IT services came under scrutiny. Pic by M.A. Pushpa Kumara.

image 01

MoT Editor

ශ්‍රී ලංකාවේ සමස්ත ඩිජිටල් පරිවර්තන ගමන වේගවත් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂිකා කන්නි විග්නරාජා මහත්මිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් අතර පසුගියදා පැවැත්විණි. මෙම හමුව සඳහා ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් එක්වූහ.

මෙහිදී රටේ ඩිජිටල් යටිතල පහසුකම් නැංවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වූ අතර, විශේෂයෙන්ම ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure - DPI) සංවර්ධනය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන (IFI) මගින් අරමුදල් සම්පාදනය වන වැඩසටහන් හරහා උදාවන නව ආයෝජන අවස්ථා පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කෙරිණි. එමෙන්ම UNDP සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO Sri Lanka) එක්ව ක්‍රියාත්මක කරනු ලබන 'OneRegistry' ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස විමසා බලන ලදී.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය උදෙසා ඩිජිටල් තාක්ෂණය භාවිත කිරීමේදී එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම මෙහෙයුම් ආයතනය ලෙස UNDP හි පූර්ණ සහයෝගය අඛණ්ඩව ලබාදෙන බව කන්නි විග්නරාජා මහත්මිය මෙහිදී යළි තහවුරු කළාය. පවතින ඩිජිටල් වැඩසටහන් තවදුරටත් බලගන්වමින්, එක්සත් ජාතීන්ගේ ඩිජිටල් පරිවර්තන රාමුව යටතේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ශක්තිමත් කිරීමට කැපවෙන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

image 01image 02image 03

MoT Editor

ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ වර්ධනය වේගවත් කරමින්, 2030 වන විට ඩිජිටල් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 දක්වා ඉහළ නැංවීම සඳහා සකස් කර ඇති උපායමාර්ගික මාර්ග සිතියම සමාලෝචනය කිරීම, තහවුරු කිරීම සහ ඒ සඳහා අදාළ පාර්ශ්වයන්ගේ එකඟතාව ගොඩනැගීම අරමුණු කරගත් “The Road to US$5 Billion” ජාතික වැඩමුළුව ජූලි 31 දින කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka විසින්, ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය ඇතිව සංවිධානය කරන ලද මෙම වැඩමුළුව සඳහා ඩිජිටල් කර්මාන්තය නියෝජනය කරන ප්‍රධාන පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.

වැඩමුළුවේ සමාරම්භක අදහස් දැක්වීම් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතා, GovTech Sri Lanka සභාපති සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ ලෝක බැංකු සමූහයේ IFC ප්‍රධාන ක්ෂේත්‍ර නිලධාරී වික්ටර් ඇන්ටනිපිල්ලෙයි මහතා විසින් සිදු කරන ලද අතර කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ලෝක බැංකු සමූහයේ තාක්ෂණික සහාය යටතේ, KPMG ආයතනයේ දේශීය හා ජාත්‍යන්තර උපදේශකයන් විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය පිළිබඳ තක්සේරු වාර්තාව සහ යෝජිත උපායමාර්ගික මාර්ග සිතියම මෙහිදී ඉදිරිපත් කෙරිණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech Sri Lanka සහ කර්මාන්ත සංවර්ධන කමිටුවේ දායකත්වයෙන් අදියර කිහිපයකදී සමාලෝචනය කර වැඩිදියුණු කරන ලද මෙම ලේඛන පිළිබඳව කර්මාන්ත ක්ෂේත්‍රයේ පුළුල් අදහස් ලබාගැනීම වැඩමුළුවේ ප්‍රධාන අරමුණක් විය.

මානව සම්පත් හා අනාගතයට ගැළපෙන කුසලතා සංවර්ධනය, නවෝත්පාදන සහ ස්වාධීන වෘත්තිකයන් සවිබල ගැන්වීම, ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය සහ අපනයන වර්ධනය මෙන්ම තිරසර වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති, ආයෝජන සහ යටිතල පහසුකම් යන ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය කරමින් තේමාත්මක කණ්ඩායම් සාකච්ඡා සැසි කිහිපයක් පැවැත්විණි.

එහිදී වාර්තාවේ පවතින නිගමන සහ යෝජනා සමාලෝචනය කිරීමට අමතරව, හඳුනාගෙන නොමැති පරතරයන්, නව යෝජනා, ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛතා, ආයතනික වගකීම්, සාර්ථකත්වය මැනීමේ දර්ශක සහ එක් එක් පාර්ශ්වයට ලබාදිය හැකි ප්‍රායෝගික දායකත්වය පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තය ගෝලීය වශයෙන් ස්ථානගත කළ යුතු ආකාරය, කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් කර්මාන්තයේ ව්‍යාපාරික ආකෘති සහ රැකියා භූමිකාවන් වෙනස්වන ආකාරය, ඩිජිටල් නිෂ්පාදන හා බුද්ධිමය දේපළ මත පදනම් වූ ඉහළ වටිනාකමක් සහිත අපනයන වර්ධනය කිරීම සහ දේශීය නවෝත්පාදන ගෝලීය පරිමාණයට ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු විය.

මෙම උපායමාර්ගික මාර්ග සිතියම මඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් කර්මාන්තයේ ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීම, ගුණාත්මක රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා උත්පාදනය කිරීම, දේශීය ඩිජිටල් නිෂ්පාදන හා සේවා ගෝලීය වෙළෙඳපොළ වෙත ප්‍රවේශ කරවීම සහ කලාපයේ ප්‍රමුඛ ඩිජිටල් ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම සඳහා සාක්ෂි මත පදනම් වූ ක්‍රියාකාරී රාමුවක් සැපයීමට අපේක්ෂා කෙරේ.

වැඩමුළුවේදී කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ අනෙකුත් පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා ඇතුළත් කරමින් මාර්ග සිතියම තවදුරටත් වැඩිදියුණු කිරීමට නියමිතය. එහිදී ප්‍රමුඛ ක්‍රියාමාර්ග, වගකිවයුතු ආයතන, ක්‍රියාත්මක කිරීමේ කාලරාමු සහ ප්‍රගතිය මැනීමේ දර්ශක පැහැදිලිව හඳුනාගත්, ක්‍රියාත්මක කළ හැකි ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම අපේක්ෂාවයි.

මෙම ජාතික වැඩමුළුව සඳහා තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම්, කර්මාන්ත හා වෘත්තීය සංගම්, නවෝත්පාදන ව්‍යවසායකයන්, ආරම්භක ව්‍යාපාර, ආයෝජකයන්, ස්වාධීන වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන, රාජ්‍ය ආයතන, ශ්‍රී ලාංකික විදේශගත වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවෝ රැසක් සහභාගී වූහ.

image 01image 02image 03image 05image 04image 06