ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් "Sri Lanka Expo 2026" නමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් දියත් කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අද ( ජනවාරි 9 ) නිල වශයෙන් දැනුම් දෙන ලදී. ප්‍රදර්ශනයට අදාළ නිල වෙබ් අඩවිය වන www.srilankaexpo.lk දියත් කිරීමද මෙහිදී සිදු කළ අතර දේශීය ප්‍රදර්ශකයින් සහ විදේශීය ගැනුම්කරුවන්ට අන්තර්ජාලය හරහා ලියාපදිංචි වීමට පහසුකම් සලසා ඇත.
2026 ජුනි 18 සිට 21 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවේ අපනයන හැකියාවන් සහ ආයෝජන අවස්ථා ජාත්‍යන්තරය වෙත ප්‍රදර්ශනය කරනු ඇත.
ශ්‍රී ලංකා එක්ස්පෝ 2026" නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, City of Dreams හි Cinnamon Life හිදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා බලශක්ති හා බල අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමිකා උඩුගමසූරිය මහතා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්, බැංකු සහ වාණිජ මණ්ඩල නියෝජිතයන්, ශ්‍රී ලංකා එක්ස්පෝ 2026 සමඟ සහයෝගී ආයතනවල ප්‍රධානීන්, අපනයනකරුවන් සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් ඇතුළු රැසක් එක්ව සිටියහ.





