ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඩිජිටල් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්,ගරු. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එංජිනේරු එරංග වීරරත්න මහතා ඇතුළු දූත පිරිසක් ඉන්දියානු මහකොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා (H.E. Santhosh Jha) මහතා සමඟ ඉන්දියානු නිල නිවසේදී (India House) විශේෂ සාකච්ඡාවක නිරත විය. මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ද සහභාගී වූහ. නවදිල්ලියේ පැවැති කෘතිම බුද්ධි (AI) සමුළුව සම්බන්ධයෙන් අවධානයට ගනිමින්, ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල ශක්තිමත් පාලන ව්‍යුහයන් සහිත තාක්ෂණික-නීතිමය ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කම මෙහිදී දෙපාර්ශවයේම අවධානයට යොමු විය.
දත්ත මධ්‍යස්ථාන (Data Centers) සහ කෘතිම බුද්ධි යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, මෙරට ස්ථාපනය කිරීමට යෝජිත AI කලාපය කෙරෙහි ඉන්දියානු ආයෝජකයන්ගේ ඉහළ උනන්දුවක් පවතින බව මහකොමසාරිස්වරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ඉන්දියාවේ 'PM Gati Shakti' වැඩසටහන ආදර්ශයට ගනිමින් චන්ද්‍රිකා දත්ත ඇසුරින් යටිතල පහසුකම් සැලසුම් කිරීම, ආපදා කළමනාකරණය සහ විශේෂයෙන් ධීවර ප්‍රජාවගේ කටයුතු ප්රශස්ත කිරීම සඳහා ඩිජිටල් පොදු යටිතල පහසුකම් (DPI) සංවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එසේම, දෙරට අතර පවතින අවබෝධතා ගිවිසුම යටතේ වන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම (JWG) සක්‍රීය කරමින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කරගනිමින් ව්‍යූහාත්මක සහයෝගීතාවක් ගොඩනැගීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළහ.
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) ඉන්දියාවේ NASSCOM වැනි ප්රමුඛ ආයතනවල වැඩසටහන් සමඟ සම්බන්ධ කිරීම සහ දෙරට අතර ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) වේගවත් කිරීම පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු විය. අධ්‍යාපන ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි රොබෝ තාක්ෂණය සහ කේතකරණය (Coding) ප්‍රචලිත කිරීම සඳහා 'Tinkering Labs' සහ AI ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට ඉන්දියාවේ සහය ලබාගැනීමට යෝජනා විය. එසේම, නවීනතම විදුලි සංදේශ පර්යේෂණ සඳහා 'Bharat 6G Mission' වැඩසටහන සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ වීමේ හැකියාව ද මෙහිදී විමසා බැලූ තවත් සුවිශේෂී කරුණකි.
මෙම සාකච්ඡාවේ වැදගත්ම ප්‍රතිඵලයක් වූයේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ ඉන්දියාවේ IIT Madras වැනි ප්රමුඛ ආයතන අතර පර්යේෂණ, සංවර්ධන (R&D) සහ වාණිජකරණ හවුල්කාරිත්වයක් ඇති කිරීමට ගත් තීරණයයි. මෙමගින් ශ්‍රී ලංකාවේ සිදුකරන පර්යේෂණ ඒකාබද්ධව සංවර්ධනය කිරීමටත්, තාක්ෂණික හුවමාරු යාන්ත්‍රණයන් ශක්තිමත් කරමින් මෙරට ඉංජිනේරු හැකියාවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමටත් අවස්ථාව උදා වනු ඇත. ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ නවෝත්පාදනය පදනම් කරගත් මෙම තිරසාර හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාව කලාපයේ තරඟකාරී ඩිජිටල් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ වැඩපිළිවල තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇත.





