ජාතික ඩිජිටල් ආර්ථිකය සවිබල ගැන්වීමේ ප්‍රධානතම තාක්ෂණික හවුල්කරුවා ලෙස SLT-MOBITEL සමූහය ලබා ඇති මූල්‍ය ප්‍රගතිය හුදෙක් ව්‍යාපාරික ජයග්‍රහණයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික ගමනේ ප්‍රබල ඉදිරි පිම්මක් බව සටහන් කරමින්, SLT-MOBITEL 2026 පළමු අර්ධයේ මූල්‍ය ප්‍රතිඵල එළිදැක්වීමේ මාධ්‍ය හමුව අගෝස්තු 17 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වමින් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පෙන්වා දුන්නේ ගෝලීය ආර්ථික අභියෝග සහ බලශක්ති පිරිවැය ඉහළ යාම හමුවේ වුවද 2026 වසරේ දෙවන කාර්තුව තුළ SLT සමූහයේ ආදායම 11.1% කින් ඉහළ යාම සහ බදු පසු ලාභය 54.4% ක කැපී පෙනෙන වර්ධනයක් (රුපියල් බිලියන 6.6 ඉක්මවූ ලාභයක්) සටහන් කිරීම සමූහයේ ස්ථාවර භාවය සහ විශිෂ්ට කළමනාකරණය මැනවින් තහවුරු කරන බවයි. එමෙන්ම 2025 වසර තුළ රජයේ බදු සහ ගාස්තු ලෙස රුපියල් බිලියන 33.7 ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබා දෙමින් රාජ්‍ය ආදායමට ලබාදුන් විශාල දායකත්වය ද එතුමාගේ ඇගයීමට ලක්විය.
තවද, රට පුරා ක්‍රියාත්මක කෙරෙන Fibre රැහැන් පද්ධති, e-රාජ්‍ය සේවා බලගන්වන Lanka Government Network (LGN) සහ Lanka Government Cloud (LGC) යටිතල පහසුකම්, මාතරින් ගොඩබිමට සම්බන්ධ කළ SEA-ME-WE 6 ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධතිය මෙන්ම, දිවයින පුරා පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා ක්‍රියාත්මක පාසල් Fibre සබඳතා ව්‍යාපෘතිය (School Fiberization Project) ඔස්සේ නාගරික හා ග්‍රාමීය ඩිජිටල් පරතරය නැති කිරීමට SLT-MOBITEL ලබාදෙන දායකත්වය අතිශය ප්‍රශංසනීය බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම 2026 සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 04 දක්වා පැවැත්වීමට නියමිත "Sri Lanka AI Week 2026" ජාතික වැඩසටහන මඟින් ශ්‍රී ලංකාව AI තාක්ෂණික මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට විශාල පිටිවහලක් ලැබෙන බවද එතුමා පැවසීය.
මෙම අවස්ථාව සඳහා SLT සමූහයේ සභාපති ආචාර්‍ය මෝතිලාල් ද සිල්වා මහතා, SLT-MOBITEL ප්‍රධාන විධායක නිලධාරී රියාෂ් රශීඩ් මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී. හි ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක මහතා ඇතුළු SLT සමූහයේ කළමනාකාරීත්වය, කාර්ය මණ්ඩලය, මෙන්ම ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.





