ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනය උදෙසා නව්‍ය ක්ලවුඩ් තාක්ෂණික විසඳුම් හඳුන්වා දීමේ අරමුණින් NCINGA සහ AWS (Amazon Web Services) ආයතන ඒකාබද්ධව සංවිධානය කළ "GROUNDED: දේශීය දත්ත ස්වෛරීභාවය පිළිබඳ ක්ලවුඩ් සමුළුව" පසුගියදා (ජූනි 17) කොළඹ Courtyard by Marriott හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතා අවධාරණය කළේ 2030 ජාතික ආර්ථික රාමුව සාක්ෂාත් කර ගැනීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් මෙරට ආර්ථිකයේ ප්‍රධාන ශක්තිය බවට පත්කළ යුතු බවයි.
තවද, රටේ ඩිජිටල් අනාගතය වෙනුවෙන් වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දෙමින්, එතුමා අවධාරණය කළේ "Hybrid Cloud" පද්ධති ලංකාව තුලම ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයයි. එමඟින් අපේ රටේ සංවේදී රාජ්‍ය සහ මූල්‍ය දත්තවල ආරක්ෂාවත්, ජාතික ස්වෛරීභාවයත් උපරිමයෙන්ම රැකගත හැකි බව එතුමා සඳහන් කළේය. මීට අමතරව, පුරවැසියන් කේන්ද්‍ර කරගත් රාජ්‍ය සේවාවන් වඩාත් වේගවත් හා සුරක්ෂිත කිරීම සඳහා දේශීය අවශ්‍යතාවලටම ගැළපෙන "Sovereign AI (ස්වෛරී කෘතිම බුද්ධිය)" සහ "NCINGA AI Factory" වැනි කෘතිම බුද්ධි රාමු ලංකාව තුළම නිර්මාණය කරගැනීමේ හැකියාවද මෙහිදී පැහැදිලි කෙරිණි.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම, දැනට පවතින අවිධිමත් ආර්ථික ක්‍රියාවලීන් ක්‍රමවත් මාවතකට ගැනීමටත්, මූල්‍ය පරිහරණය සැමටම විවෘත කිරීමටත් ඩිජිටල් අනන්‍යතාව (Digital ID) සහ තත්කාලීන ගෙවීම් පද්ධති (Real-time Payments) වැනි පොදු ඩිජිටල් මෙවලම් කඩිනමින් සක්‍රීය කළ යුතුබව ප්‍රකශ කළේය. මෙම දැවැන්ත පරිවර්තනය රජයට තනිවම කළ නොහැකි බැවින්, AWS සහ NCINGA වැනි ගෝලීය හා දේශීය තාක්ෂණික සමාගම් ඉටුකරන කාර්යභාරය අගය කළ එතුමා පුද්ගලික අංශය යනු හුදෙක් බඩු බාහිරාදිය සපයන විකුණුම්කරුවෙකු නොව, මෙම ජාතික දැක්ම සාර්ථක කරගැනීමට උරදෙන සැබෑ සහකරුවෙකු බව සිහිපත් කළේය. මෙම නවීන තාක්ෂණයන් රට තුළ පවත්වාගෙන යාම සඳහා Cloud, Cybersecurity, Data සහ AI වැනි නැගී එන ක්ෂේත්‍රයන්ගෙන් සන්නද්ධ, ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා ඇති මෙරට තාරුණ්‍යයක් නිර්මාණය කිරීමට අමාත්‍යාංශය උපරිමයෙන්ම කැපවන බවද නියෝජ්‍ය අමාත්‍යතුමා කියා සිටියේය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, AWS ඉන්දු-ලංකා රාජ්‍ය අංශයේ ප්‍රධානී මායන්ක් අරෝරා මහතා ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ විධායක නිලධාරීන්, මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් සහ තාක්ෂණික විශේෂඥයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.





