Skip to main content

රටම AI මාවතට - ජාතික කෘතිම බුද්ධි ආයතන පාර්ශවකරුවන්ගේ සමුළුවෙන් නව පිම්මක්.

MoT Editor

ශ්‍රී ලංකාව ගෝලීය කෘතිම බුද්ධි (AI) තාක්ෂණික තරඟකාරීත්වයෙන් පසෙකට වී බලා නොසිට, කලාපීය සහ ගෝලීය වශයෙන් එහි පෙරමුණ ගැනීමට ක්‍රියා කළ යුතු බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ලංකා අධ්‍යාපන හා පර්යේෂණ ජාලය (LEARN) විසින් සංවිධානය කරන ලද "ජාතික කෘතිම බුද්ධි ආයතන පාර්ශවකරුවන්ගේ සමුළුව" අමතමිනි. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සහ ජාත්‍යන්තර සහකාර සංවිධානවල නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කෘතිම බුද්ධිය (AI) යනු තවදුරටත් පර්යේෂණාගාරවලට පමණක් සීමා වූ මාතෘකාවක් නොවන අතර, එය සමස්ත ලෝක ආර්ථිකයේ, පොදු සේවාවන්හි සහ උපායමාර්ගික තරඟකාරීත්වයේ කේන්ද්‍රීය අක්ෂය බවට පත්ව ඇති බවයි. ස්ටැන්ෆර්ඩ් AI දර්ශකය සහ ලෝක බැංකු සංවර්ධන වාර්තා උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කළේ, සංවර්ධනය වෙමින් පවතින රටවලට සාම්ප්‍රදායික සංවර්ධන අභියෝග මඟහැර ඉදිරියටම යාමට AI තාක්ෂණය මඟින් විශාල අවස්ථාවක් හිමිවන නමුත්, නිසි උපායමාර්ගික පියවර නොගතහොත් ධනවත් රටවල් සහ සෙසු රටවල් අතර පරතරය තවදුරටත් පුළුල් විය හැකි බවයි.

ගෝලීය තත්ත්වයන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ සිංගප්පූරුව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවල් කෘතිම බුද්ධි ක්ෂේත්‍රයෙන් විශාල දියුණුවක් ලබා ඇත්තේ කල්තියා ගත් නිවැරදි උපායමාර්ගික තීරණ සහ ජාතික කැපවීම නිසා බවයි. ශ්‍රී ලංකාව සතුවද විශිෂ්ට බුද්ධිමය ප්‍රාග්ධනයක්, ඉහළ පෙළේ විශ්වවිද්‍යාල සහ දක්ෂ තාක්ෂණික කර්මාන්තයක් පවතින බවත්, මෙතෙක් කාලයක් රජය, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික අංශය එකට ඒකාබද්ධ කරන ජාතික මධ්‍යස්ථානයක අවශ්‍යතාවය අඩුවක්ව පැවති නමුත් මෙම යෝජිත ජාතික කෘතිම බුද්ධි ආයතනය (National AI Institute) මඟින් එය සපුරා ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

මෙම යෝජිත ආයතනය හරහා දැනට විසිරී පවතින AI ආශ්‍රිත ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීම, පර්යේෂකයන් සඳහා ඉහළ කාර්යසාධනයක් සහිත පරිගණක සම්පත් (High-Performance Computing) සහ ගුණාත්මක දත්ත කට්ටල පොදුවේ පරිශීලනයට අවස්ථාව සැලසීම සිදු කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ස්වෛරී කෘතිම බුද්ධි හැකියාවන් වර්ධනය කරමින් මෙරට රාජ්‍ය සේවා, කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ අධ්‍යාපනය යන අංශයන්හි පූර්ණ පරිවර්තනයක් ඇති කිරීම මෙහි මූලික අරමුණක් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ආයතනයේ සාර්ථකත්වය තනි අමාත්‍යාංශයකට පමණක් තීරණය කළ නොහැකි බවත්, ඒ සඳහා සියලු පාර්ශවයන්ගේ ආයතනික සහයෝගිතාව සහ එකඟතාවය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

image 01image 02image 03image 05image 04image 06