ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳු නාරටිය බඳු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් "SME Nexus" 2026 ජාතික උපායමාර්ගික රාමුව පසුගිය මැයි 13 වන දින කොළඹ The Grand Maitland හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් එළිදක්වනු ලැබීය. මෙරට ලියාපදිංචි ව්‍යාපාරවලින් 75%කට වඩා නියෝජනය කරමින්, දළ දේශීය නිෂ්පාදිතයට 52%ක දැවැන්ත දායකත්වයක් ලබා දෙන මෙම ක්ෂේත්‍රය මුහුණ දෙන ව්‍යුහාත්මක බාධක ඉවත් කර, ඔවුන් සැබෑ ආර්ථික ක්‍රියාකාරීන් ලෙස ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කයයි.
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන රාජ්‍ය දැක්මට සමගාමීව සකස් කරන ලද මෙම උපායමාර්ගික රාමුව ප්‍රධාන කුළුණු 11ක් ඔස්සේ ක්‍රියාත්මක වේ. මෙහිදී තාක්ෂණික හා ඩිජිටල් සවිබල ගැන්වීම යටතේ ඒකාබද්ධ දත්ත පද්ධතියක් සහ ඩිජිටල් ව්‍යාපාරික මෙවලම් හඳුන්වා දීමට නියමිත අතර, 'තනි කවුළු' (Single-window) සේවා සහ 'SME Connect' ඇමතුම් මධ්‍යස්ථානය හරහා ව්‍යවසායකයාට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව සැපයීමට පියවර ගෙන ඇත. තවද, ව්‍යාපාර ආරම්භ කිරීමේ ක්‍රියාවලිය සරල කිරීම, මූල්‍ය ප්‍රවේශය පුළුල් කිරීම සඳහා 'වර්ධන අරමුදලක්' (Growth Fund) පිහිටුවීම සහ දේශීය නිෂ්පාදන ගෝලීය අගය දාමයන් වෙත සම්බන්ධ කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබේ.
මෙම ජාතික වැඩපිළිවෙළ හරහා සාම්ප්‍රදායික ක්‍රමවේදවලින් බැහැරව ව්‍යවසායකයාට සෘජු මඟපෙන්වීම ලබා දෙන 'සබඳතා නිලධාරීන්' (Relationship Officers) පත් කිරීම සහ නොමිලේ උපදේශන සේවාවන් සැපයීම සිදු කෙරේ. පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සහ ව්‍යාපාරික බුද්ධි පර්යේෂණ (SIBA) ඒකකය හරහා දත්ත මත පදනම් වූ තීරණ ගැනීම මඟින් ශ්‍රී ලංකාව අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටත්, තිරසාර ආර්ථික සංවර්ධනයක් කරා ගමන් කිරීමටත් අපේක්ෂා කරයි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ගරු, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.





