Skip to main content

ශ්‍රී සර්වඥ ධාතූන්

MoT Editor

ඉන්දියාවේ බරෝදා කෞතුකාගාරයේ අතිශය සුරක්ෂිතව තැන්පත් කර තිබූ, ඉන්දියාවෙන් බැහැරට මෙතෙක් වැඩම කර නොමැති ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකික ජනතාවගේ වන්දනාමානය සඳහා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කිරීම ඇරඹිනි.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් ඊයේ (07) දින ගංගාරාම විහාරස්ථානයට පැමිණි ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා, ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පෙබරවාරි මස 05 වනදා සිට 11 වනදා දක්වා දින හතක කාලයක් පුරා පැය 24 මුළුල්ලේ මෙම සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන බවත් මෙරට බෞද්ධ ජනතාවට සිය ජීවිත කාලය තුළ හිමිවන ඉතා දුර්ලභ අවස්ථාවක් වන මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සලසා ඇති බවත් ය.

එමෙන්ම අතිමහත් ජනකායක් වන්දනාමාන කිරීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඒ සඳහා උපරිම පහසුකම් විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය මෙන්ම විදේශීය බැතිමතුන් සඳහා ද අවශ්‍ය ආරක්ෂාව සහ මඟපෙන්වීම් ලබා දීමට රජය සහ විහාරස්ථ දායක සභාව පියවර ගෙන ඇති බවත්, මෙම දුර්ලභ අවස්ථාව මග හැර නොගෙන, මෙම අති උතුම් සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගන්නා ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට සමස්ත ජනතාවට ඇරයුම් කර සිටියි.

image 01image 02image 03image 05image 04image 06