STEM අධ්‍යාපන වැඩසටහනට සහභාගී වන ශ්‍රී ලාංකික සිසුන් 200 දෙනා අතර පැවති තරඟකාරී තේරීම් වැඩසටහනකින් අනතුරුව, 'ශක්තිසැට්' (ShakthiSAT) ජාත්‍යන්තර මෙහෙයුම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට 18 හැවිරිදි ශිෂ්‍යාවක් වන සෙනීසා ගුණවර්ධන දියණිය තෝරාගෙන ඇත.
මෙම මෙහෙයුමට අදාළ නිල වැඩසටහන 2026 අගෝස්තු 22 සිට 31 දක්වා ඉන්දියාවේ ගෞතම් බුද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට නියමිත අතර, සමස්ත සංචාරය 2026 අගෝස්තු 21 සිට 31 දක්වා ඉන්දියාවේ නව දිල්ලි නුවර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. මෙම සංචාරය අතරතුර ඇය ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍යවරයා සහ ගරු ජනාධිපතිවරයා හමුවීමේ නිල රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාවන්ට ද සහභාගී වීමට නියමිත අතර, මෙය ශ්‍රී ලාංකේය තරුණ පරපුරට හිමිවූ අතිශය වැදගත් අධ්‍යාපනික හා රාජ්‍ය තාන්ත්‍රික අවස්ථාවකි.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීම සහ ඇයගේ ඉදිරි සංචාරය පිළිබඳව අදහස් හුවමාරු කරගැනීම වෙනුවෙන් සෙනීසා ගුණවර්ධන දියණිය පසුගිය දා (27) ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා හමුවිය. එහිදී ඇය ලැබූ මෙම සිය අත්දැකීම් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ බෙදාගත් අතර, රටේ ඩිජිටල් හා තාක්ෂණික අනාගතය වෙනුවෙන් මෙවැනි තරුණ නියෝජනයන්හි ඇති වැදගත්කම පිළිබඳව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එළඹෙන සංචාරය සඳහා සිය සුබ පැතුම් එක් කළේය





