ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සිංගප්පූරුවේ පැවති Asia Tech x Singapore (ATxSG) 2026 සමුළුවට පසුගියදා සහභාගී විය. එම සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකා - සිංගප්පූරු නවෝත්පාදන හා තාක්ෂණ කවුන්සිලයේ (SSITC) සාමාජිකයින් සමඟ විශේෂ ජාලකරණ සැසියක් සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් 2026 මැයි 20 දින සංවිධානය කරන ලදී.
මෙහිදී සහභාගී වූවන් සාදරයෙන් පිළිගත් මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා, ඩිජිටල් ආර්ථිකය, නවෝත්පාදන සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය. 2025 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ AI Singapore ආයතනය අතර කෘත්‍රිම බුද්ධි සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මහ කොමසාරිස්වරයා විශේෂයෙන් සිහිපත් කළේය. ශ්‍රී ලංකා - සිංගප්පූරු නවෝත්පාදන හා තාක්ෂණ කවුන්සිලය පිහිටුවීම දෙරටේ තාක්ෂණික පරිසර පද්ධතීන් අතර සන්නිවේදනය ශක්තිමත් කිරීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වූ ඒ මහතා, ශ්‍රී ලංකාවේ සහ සිංගප්පූරුවේ තාක්ෂණික පාර්ශවකරුවන් අතර සම්බන්ධතාවය පහසු කිරීම සඳහා මහා කොමසාරිස් කාර්යාලය විසින් ගෙන ඇති පියවර පිළිබඳව ද දැනුවත් කළේය.
මෙහිදී ශ්‍රී ලංකා - සිංගප්පූරු නවෝත්පාදන හා තාක්ෂණ කවුන්සිලයේ (SSITC) සභාපති මහේෂ් කාවින්ද මහතා සහ එහි ලේකම් ගීෂාන් විජේනායක මහතා ඔවුන්ගේ ඉදිරිපත් කිරීම හරහා කවුන්සිලයේ දැක්ම සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන න්‍යාය පත්‍රයට සහය දක්වන යෝජනා මාලාවක් ගෙනහැර දැක්වූහ. එම යෝජනා ප්‍රධාන වශයෙන් සයිබර් ආරක්ෂාව, දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය සහ ධාරිතාව වර්ධනය කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණි.
ගරු එරංග වීරරත්න මහතා ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් කවුන්සිලයේ සාමාජිකයින් සමඟ අන්තර්ක්‍රියාකාරී සාකච්ඡාවක නිරත වූ අතර, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඉදිරියට ගෙනයාම සඳහා රජයේ ප්‍රමුඛතා පිළිබඳව අදහස් බෙදා ගත්තේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ නවෝත්පාදන පරිසර පද්ධතියට සහය වීම සඳහා විශේෂඥ දැනුම, තාක්ෂණය සහ හවුල්කාරිත්වයන් උපයෝගී කර ගැනීමේ අවස්ථා පිළිබඳව සහභාගී වූවන් මෙහිදී අදහස් හුවමාරු කර ගත්හ.
මෙම අවස්ථාවට SSITC හි සාමාජිකයින්, සිංගප්පූරුවේ තාක්ෂණික අංශයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය සහභාගී වූහ.





