අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ එම ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 28 දා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ පවතින සුබසාධක යාන්ත්‍රණය තුළ ඇති අඩුපාඩු මඟහරවා ගනිමින්, නවීන තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාව වෙත ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.
මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වූයේ ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ දැනට පවතින ක්‍රමවේදයේ නිර්ණායක සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳවයි. මෙම ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම හරහා දත්ත රැස් කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ නිරවද්‍යතාව ඉහළ නැංවිය හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව පනත් සංශෝධනය කිරීම වැනි දිගුකාලීන විසඳුම් මෙන්ම, පද්ධති වැඩිදියුණු කිරීම වැනි කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මීට අමතරව, ක්ෂේත්‍ර මට්ටමින් පවතින පරිපාලනමය ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. එහිදී පුරප්පාඩු පිරවීම, ග්‍රාම නිලධාරීන් අස්වැසුම ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී කරවා ගැනීම සහ ගෙවීම් ක්‍රමවේදයන්හි පවතින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා ගත යුතු පියවර රාශියක් හඳුනා ගන්නා ලදී. රාජ්‍ය යාන්ත්‍රණය සහ ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් සහන අවශ්‍යම ජනතාව වෙත ප්‍රමුඛතාව ලබා දීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්‍ය උපාලි පන්නිලගේ මහතා, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහභාගී වූහ. එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


