වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු Tô Lâm මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව, දෙරට අතර ඩිජිටල් ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ වියට්නාමයේ 57 වන මෙහෙයුම් කමිටු ජාතික උපදේශක සභාවේ සාමාජික Nguyen The Trung මහතා අතර අද දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේදී පැවැත්විණි.
මෙහිදී පොදු ඩිජිටල් යටිතල පහසුකම්, මුදල් රහිත ගෙවීම් පද්ධති, සයිබර් ආරක්ෂාව, දත්ත මධ්‍යස්ථාන සහ කෘතිම බුද්ධිය (AI) සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය. ශ්‍රී ලංකාව 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් සහ ඩොලර් බිලියන 5ක ඩිජිටල් අපනයන ඉලක්කයක් සපුරා ගනිමින් කලාපීය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ජාතික දැක්ම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, මෙරට දත්ත මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා සඳහා වියට්නාමයේ සහයෝගය ලබාදීමට ද එකඟතාවය පළවිය.
දෙරට අතර දැනට පවතින කර්මාන්ත මට්ටමේ සබඳතා අගය කළ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ SLASSCOM ආයතනය සහ වියට්නාමයේ VINASA සංගමය අතර ඇති අවබෝධතා ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ. විශේෂයෙන්ම වියට්නාමයේ හැනොයි (Hanoi) නුවර කේන්ද්‍ර කරගත් තාක්ෂණික හා නවෝත්පාදන පද්ධතිය සමඟ එක්ව කටයුතු කිරීමට ඇති කැමැත්ත ද මෙහිදී අවධාරණය කෙරිණි.
වියට්නාම නියෝජිත පිරිස ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාප්තිය, රාජ්‍ය අංශයේ ඩිජිටල්කරණය, ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ AI කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත් අතර, දෙරටේම ඩිජිටල් පරිවර්තන ගමන්මඟ ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ දැනුම හුවමාරුව සහ ප්‍රායෝගික හවුල්කාරීත්වය වැදගත් බව දෙපාර්ශ්වයේම අවධානයට යොමුවිය.
මෙම සාකච්ඡාව සඳහා එක්වූ වියට්නාම නියෝජිත පිරිසක්ද, ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ප්‍රමුඛත්වයෙන් යුත් අමාත්‍යංශ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද විය.





