ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මඟින් සංවිධානය කරන ලද 26 වන අපනයනකරුවන්ගේ ජාතික සංසදය (Exporters' Forum) අද (19) දින කොළඹ NDB-EDB ටවර් පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුව සඳහා ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ද එක්විණි.
අපනයනකරුවන්ගේ සංසදය, තනි පුද්ගල නිෂ්පාදකයින් සහ විවිධ ක්ෂේත්‍රවල අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු හා අභියෝග සඳහා රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් විසඳුම් ලබාදීම සඳහා කටයුතු රන අතර අපනයනකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය ආයතන සහ අපනයන ප්‍රජාව අතර සන්නිවේදනය ශක්තිමත් කිරීමටත්, ප්‍රතිපත්තිමය හා ඩිජිටල් තාක්ෂණික විසඳුම් ලබාදීමටත් මෙහිදී අවධානය යොමු විය.
මෙහිදී අදහස් දැක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කළේ අපනයනකරුවන් සහ රජය අතර පවතින සබඳතාව තවදුරටත් සමීපව පවත්වාගෙන යාමේ වැදගත්කමයි. එහිදී අපනයනකරුවන්ගේ ගැටලු ඇතුළත් කිරීමට, විසඳන ලද තොරතුරු පරීක්ෂා කිරීමට මෙන්ම තවමත් විසඳී නොමැති අභියෝග හඳුනා ගැනීමට සුවිශේෂී ඩිජිටල් ද්වාරයක් (Dedicated Portal) ස්ථාපිත කිරීමට එතුමා යෝජනා කළේය. තවද, මෙම ද්වාරය හරහා හඳුනාගන්නා නිරාකරණය නොවූ ගැටලු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරමින් ඒවා විසඳීම සඳහා වරින් වර මෙවැනි සංසද කැඳවීමේ වැදගත්කම ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එසේම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ දැවැන්තම ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන "ශ්‍රී ලංකා Expo 2027" ප්‍රදර්ශනය එළඹෙන 2027 ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වීමට නියමිත බව ද මෙම හමුවේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීන් සහ දිවයිනේ ප්‍රමුඛ පෙළේ අපනයනකරුවන් රැසක් සහභාගී වී සිටියහ.





