ගෝලීය තරුණ ව්‍යවසායකත්ව මෙහෙයුමක ශ්‍රී ලාංකීය සලකුණ සනිටුහන් කරමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව පැවැත්වුණු "Hult Prize Sri Lanka Nationals 2025/2026" ජාතික අවසන් මහා තරගය මැයි 10 වන දින කොළඹ Commercial Credit Training Academy පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. APIIT ආයතනය මෙරට සත්කාරකත්වය දැරූ මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ නවෝත්පාදන හැකියාවන් සහ ව්‍යවසායකත්ව චින්තනය ජාත්‍යන්තර තලයට ගෙන යාමට මඟ පෙන්වීය.
මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැමිණ සිටි පිරිස අමතමෛන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමේ වගකීම තරුණ ව්‍යවසායකයන් සතු වන බවයි. තාක්ෂණය හුදෙක් නවෝත්පාදනයක් පමණක් නොව, එය වගකීම් සහගතව සහ සියලු දෙනා ඇතුළත් වන ආකාරයෙන් භාවිත කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ග්‍රාමීය ප්‍රජාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් ඉලක්ක කරගනිමින් ඩිජිටල් විසඳුම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.
එමෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ නවෝත්පාදන පද්ධතීන් සඳහා රජය ලබාදෙන සහාය තුළින් තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළම සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන බවත්. මේ නිසා තරගයෙන් ඔබ්බට ගොස් සිය අදහස් සැබෑ ලෝකයේ ගැටලු විසඳන ව්‍යාපෘති බවට පත් කරන ලෙස ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අනාගතය තීරණය වන්නේ හුදෙක් මහා පරිමාණ ආයතන මත නොව, තාක්ෂණය වගකීම් සහගතව හසුරුවන තරුණ නවෝත්පාදකයන් මත බව එතුමා වැඩි දුරටත් අවධාරණය කළේය.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයට Hult Prize පදනමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ හම්දි බෙන් එල් එල්මි සහ කලාපීය කළමනාකාරිනී සුප්‍රියා ජන්ග්‍රේ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. APIIT සභාපති බන්දුල එගොඩගේ මහතා, Hult Prize ජාතික අධ්‍යක්ෂ තවිරු හෙට්ටිආරච්චි මහතා සහ APIIT ව්‍යාපාරික පාසලේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


