Skip to main content

ඩිජිටල් තාක්ෂණයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධනය යා කෙරෙන ජාතික වැඩසටහන ඇරඹෙයි.

MoT Editor

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ක්ෂේත්‍ර වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වීම වෙනුවට ඩිජිටල් යටිතල පහසුකම් ඔස්සේ බද්ධ කරමින් ජාතික ප්‍රවාහන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ උපායමාර්ගික වැඩපිළිවෙළ පසුගිය (අගෝස්තු 23) දින Waters Edge පරිශ්‍රයේ දී "2035 සඳහා ඩිජිටල්කරණය හරහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධනය ඒකාබද්ධ කිරීම" (Integrated Transport, Highways and Urban Development for Sri Lanka through Digitalization) යන තේමාව යටතේ එළිදක්වන ලදී.

ගරු, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා, ගරු, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා, සහ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා එහිදී පෙන්වා දුන්නේ වත්මන් ප්‍රවාහන පද්ධතිය තුළ පවතින රාජ්‍ය ආයතන අතර ඩිජිටල් සම්බන්ධතාවක් නොමැතිකම නිසා ජනතාව මුහුණ දෙන ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් දෛනිකව විශාල පිරිවැයක් සහ කාලයක් අපතේ යන බවයි. මෙම තත්ත්වය නිරාකරණය කිරීම සඳහා ජාතික ඩිජිටල් යටිතල පහසුකම් පදනම් කරගනිමින් ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් ගොඩනැගීමට සඳහා මෙහිදී අවධානය යොමු කෙරිණි.

මෙම ඩිජිටල්කරණ වැඩසටහන යටතේ විවිධ ප්‍රවාහන මාධ්‍ය වෙන වෙනම සෙවීම වෙනුවට Open GTFS දත්ත ලබාදීම මඟින් එකම සිතියමකින් සමස්ත ගමනම සැලසුම් කිරීමටත්, බස් හා දුම්රිය පිහිටුම් (Live Tracking) පරීක්ෂා කිරීමටත් පහසුකම් සැලසේ. එමෙන්ම ඕනෑම බැංකු කාඩ්පතක්, QR, Wallet හෝ Transit Card භාවිතයෙන් සියලුම ප්‍රවාහන මාධ්‍ය සඳහා එකම පද්ධතියක් යටතේ ගාස්තු ගෙවීමේ පහසුකම ස්ථාපිත කෙරෙයි.

GovPay පද්ධතිය හා සම්බන්ධ වූ ප්‍රසාද ලකුණු කැපීමේ විද්‍යුත් නීති බලාත්මක කිරීමේ ක්‍රමවේදයක් ද ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් හා 2027 සිට සැලසුම් කර 2034 වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග භාවිත ගාස්තු අය කිරීමේ පද්ධතිය සහ දුම්රිය එන්ජින් සඳහා GPS තාක්ෂණය යොදාගැනීම මඟින් ධාරිතාව ඉහළ නැංවීමට සම්බන්ධයෙන් ද එතුමා අදහස් දැක්වීය.

එකම මාර්ගය වසරකට කිහිප වරක් ප්‍රතිසංස්කරණ කිරීම වැළැක්වීම සඳහා සියලුම උපයෝගිතා ආයතන සඳහා වූ පොදු ඉදිකිරීම් ලේඛනයක්, ඩිජිටල් ගොඩනැගිලි අනුමැතිය සහ ප්‍රවාහන මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගත් නාගරික සංවර්ධනය ද මෙම වැඩපිළිවෙළට ඇතුළත් වේ. රාජ්‍ය ආයතන තනි තනිව පද්ධති මිලදී ගැනීම වෙනුවට ජාතික දත්ත හුවමාරු පද්ධතිය (NDX) භාවිත කරමින් එකිනෙක සම්බන්ධ විය යුතු බවත්, සෑම ඩිජිටල් දත්ත පද්ධතියකටම නම් කළ වගකිවයුතු නිලධාරියෙකු සිටිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු (ආචාර්ය) අසිරි කරුණාවර්ධන මහතා ඇතුළුව රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන් සහ තාක්ෂණික නිලධාරීන් සහභාගී වී සිටියහ.

image 01image 02image 03image 05image 04image 06