Skip to main content

MoT Editor

Join BestWeb.LK 2026 to gain recognition for your ‘.lk’ website. The competition is open to all ‘.lk’ domain holders. Submit your application within the registration period to be part of this prestigious event.

How to Register

  • Click the “APPLY NOW” button or log in to rs.domains.lk to submit your application.

  • If you’re not listed as the Registrant, Admin, Billing, or Technical contact for the domain, a confirmation email will be sent to the Registrant and Admin for approval.

  • gov.lk, sch.lk, and ac.lk domains require an authorized individual to submit a sealed and signed letter for verification.

  • Letters can be emailed to bestweb@domains.lk or uploaded via the system.

  • A fixed fee of Rs. 6,000 applies to all categories.

  • Review the evaluation criteria outlined in the Terms and Conditions to ensure compliance before submitting your application.

Link : https://bestweb.lk/apply/

MoT Editor

ගෝලීය තරුණ ව්‍යවසායකත්ව මෙහෙයුමක ශ්‍රී ලාංකීය සලකුණ සනිටුහන් කරමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අනුග්‍රහය ඇතිව පැවැත්වුණු "Hult Prize Sri Lanka Nationals 2025/2026" ජාතික අවසන් මහා තරගය මැයි 10 වන දින කොළඹ Commercial Credit Training Academy පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය. APIIT ආයතනය මෙරට සත්කාරකත්වය දැරූ මෙම වැඩසටහන, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන්ගේ නවෝත්පාදන හැකියාවන් සහ ව්‍යවසායකත්ව චින්තනය ජාත්‍යන්තර තලයට ගෙන යාමට මඟ පෙන්වීය.

මෙම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැමිණ සිටි පිරිස අමතමෛන් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ අනාගත ඩිජිටල් ආර්ථිකය ගොඩනැගීමේ වගකීම තරුණ ව්‍යවසායකයන් සතු වන බවයි. තාක්ෂණය හුදෙක් නවෝත්පාදනයක් පමණක් නොව, එය වගකීම් සහගතව සහ සියලු දෙනා ඇතුළත් වන ආකාරයෙන් භාවිත කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්, ග්‍රාමීය ප්‍රජාවන් සහ විශේෂ අවශ්‍යතා සහිත පිරිස් ඉලක්ක කරගනිමින් ඩිජිටල් විසඳුම් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

එමෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය සහ නවෝත්පාදන පද්ධතීන් සඳහා රජය ලබාදෙන සහාය තුළින් තරුණ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාව තුළම සිය ව්‍යාපාර වර්ධනය කර ගැනීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන බවත්. මේ නිසා තරගයෙන් ඔබ්බට ගොස් සිය අදහස් සැබෑ ලෝකයේ ගැටලු විසඳන ව්‍යාපෘති බවට පත් කරන ලෙස ඔහු සිසුන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ අනාගතය තීරණය වන්නේ හුදෙක් මහා පරිමාණ ආයතන මත නොව, තාක්ෂණය වගකීම් සහගතව හසුරුවන තරුණ නවෝත්පාදකයන් මත බව එතුමා වැඩි දුරටත් අවධාරණය කළේය.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ගරු චතුරංග අබේසිංහ මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ධනපාල මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයට Hult Prize පදනමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ හම්දි බෙන් එල් එල්මි සහ කලාපීය කළමනාකාරිනී සුප්‍රියා ජන්ග්‍රේ යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. APIIT සභාපති බන්දුල එගොඩගේ මහතා, Hult Prize ජාතික අධ්‍යක්ෂ තවිරු හෙට්ටිආරච්චි මහතා සහ APIIT ව්‍යාපාරික පාසලේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

image 01image 02image 03

MoT Editor

වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු Tô Lâm මැතිතුමාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව, දෙරට අතර ඩිජිටල් ආර්ථික ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා සහ වියට්නාමයේ 57 වන මෙහෙයුම් කමිටු ජාතික උපදේශක සභාවේ සාමාජික Nguyen The Trung මහතා අතර අද දින ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේදී පැවැත්විණි.

මෙහිදී පොදු ඩිජිටල් යටිතල පහසුකම්, මුදල් රහිත ගෙවීම් පද්ධති, සයිබර් ආරක්ෂාව, දත්ත මධ්‍යස්ථාන සහ කෘතිම බුද්ධිය (AI) සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා විය. ශ්‍රී ලංකාව 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් සහ ඩොලර් බිලියන 5ක ඩිජිටල් අපනයන ඉලක්කයක් සපුරා ගනිමින් කලාපීය ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ ජාතික දැක්ම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර, මෙරට දත්ත මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථා සඳහා වියට්නාමයේ සහයෝගය ලබාදීමට ද එකඟතාවය පළවිය.

දෙරට අතර දැනට පවතින කර්මාන්ත මට්ටමේ සබඳතා අගය කළ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ SLASSCOM ආයතනය සහ වියට්නාමයේ VINASA සංගමය අතර ඇති අවබෝධතා ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන්හ. විශේෂයෙන්ම වියට්නාමයේ හැනොයි (Hanoi) නුවර කේන්ද්‍ර කරගත් තාක්ෂණික හා නවෝත්පාදන පද්ධතිය සමඟ එක්ව කටයුතු කිරීමට ඇති කැමැත්ත ද මෙහිදී අවධාරණය කෙරිණි.

වියට්නාම නියෝජිත පිරිස ඩිජිටල් යටිතල පහසුකම් ව්‍යාප්තිය, රාජ්‍ය අංශයේ ඩිජිටල්කරණය, ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ සහ AI කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත් අතර, දෙරටේම ඩිජිටල් පරිවර්තන ගමන්මඟ ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩ දැනුම හුවමාරුව සහ ප්‍රායෝගික හවුල්කාරීත්වය වැදගත් බව දෙපාර්ශ්වයේම අවධානයට යොමුවිය.

මෙම සාකච්ඡාව සඳහා එක්වූ වියට්නාම නියෝජිත පිරිසක්ද, ශ්‍රී ලංකා පාර්ශවය නියෝජනය කරමින්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ප්‍රමුඛත්වයෙන් යුත් අමාත්‍යංශ ජේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද විය.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් නිවැරදිව හඳුනා ගැනීම සහ එම ලැයිස්තුගත කිරීමේ ක්‍රියාවලිය වඩාත් වේගවත් හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගිය 28 දා මුදල් අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන අරමුණ වූයේ පවතින සුබසාධක යාන්ත්‍රණය තුළ ඇති අඩුපාඩු මඟහරවා ගනිමින්, නවීන තාක්ෂණය භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ජනතාව වෙත ලබා දීමට අවශ්‍ය පහසුකම් සැලසීමයි.

මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වූයේ ප්‍රතිලාභීන් හඳුනාගැනීමේ දැනට පවතින ක්‍රමවේදයේ නිර්ණායක සංශෝධනය කළ හැකි ආකාරය පිළිබඳවයි. මෙම ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම හරහා දත්ත රැස් කිරීමේ සහ විශ්ලේෂණය කිරීමේ නිරවද්‍යතාව ඉහළ නැංවිය හැකි බව මෙහිදී අවධාරණය කෙරිණි. ඒ අනුව පනත් සංශෝධනය කිරීම වැනි දිගුකාලීන විසඳුම් මෙන්ම, පද්ධති වැඩිදියුණු කිරීම වැනි කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි කෙටි කාලීන ක්‍රියාමාර්ග පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

මීට අමතරව, ක්ෂේත්‍ර මට්ටමින් පවතින පරිපාලනමය ගැටලු පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. එහිදී පුරප්පාඩු පිරවීම, ග්‍රාම නිලධාරීන් අස්වැසුම ක්‍රියාවලියට සක්‍රීයව සහභාගී කරවා ගැනීම සහ ගෙවීම් ක්‍රමවේදයන්හි පවතින තාක්ෂණික ගැටලු විසඳීම සඳහා ගත යුතු පියවර රාශියක් හඳුනා ගන්නා ලදී. රාජ්‍ය යාන්ත්‍රණය සහ ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීමෙන් සහන අවශ්‍යම ජනතාව වෙත ප්‍රමුඛතාව ලබා දීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්‍ය උපාලි පන්නිලගේ මහතා, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහභාගී වූහ. එමෙන්ම ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

image 04image 05image 06

MoT Editor

වත්මන් රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙල අනුව යමින් මහා නගර සභා 29ක්, නගර සභා 36ක් සහ ප්‍රදේශීය සභා 276ක් වන මෙරට පළාත් පාලන 341ම සේවා සැපයීම් හා ගෙවීම් මාර්ගගත ක‍්‍රම ඔස්සේ සිදුකිරීමට හැකි ආයතන තත්ත්වයට පත්කිරීම සඳහා වන ඩිජිටල්කරණ වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ. එම වැඩසටහන වඩා වේගවත් කිරීමටත් එම පහසුකම් දෝෂ රහිත, වඩා පහසු, ඉක්මන් හා ලාභදායී සේවාවන් ලෙස ජනතාවට සමීප කිරීමටත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ගරු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹ, යූනියන් පෙදෙස, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.

බදු ගෙවීම්, සේවා ලබාගැනීම සඳහා සිදුකරන වෙන්කරවා ගැනීම්, ජල බිල්පත් ගෙවීම්, බලපත‍්‍ර හා සහතික ලබාගැනීම්, වීදි ලාම්පු නඩත්තුව හා කළමනාකරණය, රථ ගාල් වෙත සිදුකරන ගෙවීම්, පැමිණිලි යොමු කිරීම් ආදී සියලූ සේවා හා ගෙවීම් පළාත් පාලන ආයතන වෙත පැමිණීමකින් තොරව සිදු කරගැනීමට හැකිවන තත්ත්වයට පත්කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. අමතරව පළාත් පාලන ආයතනයන්හි සිදුවන නාස්තිය, දූෂණය අවම කිරීමත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙල හරහා සිදු වේ.

නෝට්ටු හා කාසි භාවිතය අවම කරගනිමින් වැඩි වශයෙන් ඩිජිටල් පද්ධති හරහා ගනුදෙනු කිරීම මගින් එක් රැස්වන දත්ත ඔස්සේ ආර්ථිකය චලනය වන ආකාරය නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබීම රටක් ලෙස ඉදිරි සැලසුම් කිරීම් හා තීරණ ගැනීම් සඳහා ද විශාල සහායක් වේ.

මීට පෙරාතුව පළාත් පාලන ආයතන සියල්ලම එකට එකතු කරගනිමින් ක්‍රියාත්මක වූ පොදු වැඩපිළිවෙලක් නොතිබූ නිසා එක් එක් පළාත් පාලන ආයතන වෙන් වෙන් වශයෙන් විවිධ තාක්ෂණික විසඳුම් මේ වෙනුවෙන් නිර්මාණය කරගෙන තිබුණ ද මේ වන විට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රජය සතු දැනුම හා සම්පත් පමණක් උපයෝගී කරගනිමින්, කිසිදු රාජ්‍ය නොවන බාහිර පාර්ශ්වයක් සමග සම්බන්ධ නොවී මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමට හැකිවී ඇති බැවින් පළාත් පාලන ආයතන වෙත කිසිඳු වියදම් දැරීමකින් තොරව මෙම පහසුකම් ලබාදී සියලූම පළාත් පාලන ආයතන මධ්‍යගත හා ඒකාබද්ධ වූ පද්ධතියකට එක් කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙල ඉතාමත් ඉක්මණින් එළිදැක්වීමට නියමිත අතර පළාත් පාලන ආයතන හා ජනතාව වැඩි වශයෙන් මෙම ඩිජිටල්කරණ වැඩපිළිවෙල සමග සම්බන්ධ කර ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය හා එක්ව දිරිගැන්වීමේ ත්‍යාග හා ප්‍රතිලාභ සහිත ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම් වරුණ ශ‍්‍රී ධනපාල ඇතුළු අමාත්‍යාංශ ද්විත්වයේම නිලධාරී මහත්ම මහත්මීන්, GovTech සහ ලංකා පේ (LankaPay) නියෝජිත මහත්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක් විය.

image 01image 02image 03image 04image 05image 06

MoT Editor

ගරු ඩිජිටල් ආර්ථිකය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන අමාත්‍යාංශයේ වැඩ, චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දල්වා ආශිර්වාද මැද මිත්‍රත්වය වැඩිදියුණු කරමින් උත්සවශ්‍රීයෙන් ඇරඹිණි.

උත්සව සභාව ඇමතූ අමාත්‍යාංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා කියා සිටියේ ජාත්‍යන්තර භූ දේශපාලන තත්ව යටතේ ඉදිරි දුරස්ථව වැඩ කිරීම සඳහා වූ ඩිජිටල් තාක්ෂණ ක්‍රමවේද පිලිබඳවත්, මෙම වසරේ අමාත්‍යාංශයට වෙන් කර ඇති ප්‍රතිපාදන උපරිමකරණය කිරීමටත් මූලිකත්වය දී කටයුතු කරන බවයි.

මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා ඇතුලු, අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් සහ අමාත්‍යංශ නිලධාරීන් සහභාගි විය.

image 01image 02image 03image 04image 05

MoT Editor

2030 වසර වන විට රජයේ සියලුම ගනුදෙනු 100%ක් ඩිජිටල්කරණය කිරීමටත්, ඇමරිකානු ඩොලර් බිලියන 15ක දැවැන්ත ඩිජිටල් ආර්ථිකයක් මෙරට තුළ ගොඩනැගීමටත් රජය සැලසුම් කර ඇත. මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් හරහා එම ක්‍රියාවලිය සක්‍රීය කර ගැනීමට කටයුතු කරමින් තිබේ. මෙම වැඩපිළිවෙළේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස, Mastercard ආයතනය විසින් සංවිධානය කරන ලද 'Access Unlocked v2.0' ඩිජිටල් ගෙවීම් පද්ධති දියත් කිරීමේ වැඩසටහන ඊයේ (25) දින ගරු, ඩිජිටල් ආර්ථික ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ගරු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරුන් පෙන්වා දුන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SME) සඳහා අඩු පිරිවැයකින් යුත් ඩිජිටල් ගෙවීම් ක්‍රම හඳුන්වා දීම මූල්‍ය ඇතුළත් කිරීම් ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය බවයි. මෙම සංසදයේදී දකුණු ආසියාවේ ප්‍රථම වරට Mastercard SoundBox සහ SoftPOS වැනි නව්‍ය තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම දිරිගන්වන සුළු කරුණකි. Mastercard Merchant Cloud මගින් බල ගැන්වෙන මෙම සේවාවන් හරහා කුඩා ව්‍යාපාරිකයන්ට ඉතා පහසුවෙන් සහ අඩු පිරිවැයකින් ඩිජිටල් ගෙවීම් භාර ගැනීමට අවස්ථාව හිමි වන අතර, එය රටේ සමස්ත ආර්ථික පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට ඉවහල් වනු ඇති බවයි.

රජය සහ පෞද්ගලික අංශය අතර පවතින අඛණ්ඩ සහයෝගීතාවය මෙරට ව්‍යාපාර බල ගැන්වීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට ප්‍රධානතම සාධකය වේ. ඩිජිටල් තාක්ෂණය වැළඳ ගැනීම හරහා විනිවිදභාවය ඉහළ නැංවීමටත්, ගෝලීය වෙළඳපොළ සමඟ ශ්‍රී ලංකාව බද්ධ කිරීමටත් රජය කැපවී සිටින අතර නව්‍ය මූල්‍ය විසඳුම් ප්‍රචලිත කිරීම මගින් සෑම ව්‍යවසායකයෙකුටම ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ හිමිකර දීම මූලික අරමුණයි.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ශ්‍රී ලංකාවේ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (VASP) සඳහා වන නියාමන රාමුව පිළිබඳ කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සහ සාකච්ඡා කිරීම සඳහා වූ VASP අනුකමිටුවේ දෙවන රැස්වීම පසුගියදා සාර්ථකව පවත්වන ලදී.

මෙම සැසිය ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, ඒ සඳහා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථික අමාත්‍යංශ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ (FIU) අධ්‍යක්ෂිකා ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය ද සහභාගී වූහ. සාමාජිකයින් 28 දෙනෙකු මෙහිදී ක්‍රියාකාරීව අදහස් දක්වමින්, පෙර සැසියේදී ඉදිරිපත් කළ සංකල්ප පත්‍රිකාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වටිනා නිර්දේශ ඉදිරිපත් කළහ.

සාකච්ඡාවලින් අනතුරුව, එම සැසියේදී ඉදිරිපත් වූ ප්‍රධාන නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් කරමින් ඒකාබද්ධ වාර්තාවක් සකස් කිරීමට කමිටුව එකඟ විය.

මෙහිදී ගරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය (MoDE) වෙත ආරාධනා කර සිටියේ, අනෙකුත් රටවල් අනුගමනය කරන නියාමන රාමු පිළිබඳව සහයෝගයෙන් අධ්‍යයනය කර එහි ප්‍රතිඵල අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙසයි. මීට අමතරව, වඩාත් ප්‍රායෝගික සහ ඵලදායී ක්‍රියාත්මක කිරීමේ ප්‍රවේශයකට සහාය වීම සඳහා, නියාමකයා ලෙස තම කාර්යභාරයේදී මුහුණ දීමට සිදුවිය හැකි අභියෝග පිළිබඳව දළ සටහනක් ඉදිරිපත් කරන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින ලදී.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) පාලන තන්ත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරමින්, පෙබරවාරි 12 වන දින මහ බැංකුවේ ප්‍රධාන CFT කමිටුව වෙත ඉදිරිපත් කළ VASP නියාමන රාමුව පදනම් කරගනිමින් මෙම රැස්වීම පැවැත්විණි.

යෝජිත මෙම රාමුව රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම විශේෂඥ දැනුම ඇතුළත් කරමින් සිදුකළ බහුවිධ පාර්ශ්වකරුවන්ගේ සාමූහික උත්සාහයකි. මෙහිදී,

  • VASP නියාමන කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කිරීම
  • අතථ්‍ය වත්කම් ක්ෂේත්‍රයේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් පිළිබඳ ජාතික අවදානම් තක්සේරුවේ සොයාගැනීම් සලකා බැලීම
  • 2026/2027 දක්වා අදියර වශයෙන් ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම
  • ලියාපදිංචිය, KYC/AML බැඳීම් සහ වාර්තා කිරීමේ ප්‍රමිතීන් ඇතුළත් යෝජිත අනුකූලතා ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කළේය.
image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සංවිධානය කළ විශේෂ සාකච්ඡාවක් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ගරු එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, සන්තෝෂ් ජා මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයේදී පැවැත්විණි. ආපදා කළමනාකරණ ක්ෂේත්‍රයේ ඩිජිටල් සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම අවස්ථාවට ජනාධිපති ඩිජිටල් ආර්ථික උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහත්වරුන් ඇතුළු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙහිදී ඉන්දියාවේ භාස්කරාචාර්ය අභ්‍යවකාශ යෙදුම් සහ භූ-තොරතුරු විද්‍යා ආයතනය (BISAG) විසින් නිපදවන ලද 'ආපදා බලපෑම් තක්සේරු වේදිකාව' (Disaster Impact Assessment Platform) පිළිබඳ විශේෂ ඉදිරිපත් කිරීමක් සිදුවිය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka ආයතනයේ සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන මෙම පද්ධතිය මඟින් උසස් භූ-අවකාශීය තාක්ෂණය (Geospatial technologies) භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ආපදා සූදානම, ප්‍රතිචාර දැක්වීම සහ අවදානම් අවම කිරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරන ආකාරය පෙන්වා දෙන ලදී.

මීට අමතරව, ඉන්දීය රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය වන C-DOT ආයතනය විසින් නිපදවන ලද 'ජංගම විකාශන පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ' (Early Warning System) සංකල්පීය ආකෘතියක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. නව්‍ය ඩිජිටල් විසඳුම් උපයෝගී කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ මෙම සාකච්ඡාවේදී, තාක්ෂණය පදනම් කරගත් ඔරොත්තු දෙන ආපදා කළමනාකරණ පද්ධතියක් ගොඩනැගීම සඳහා දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම එකඟතාව පළ කළහ.

image 01image 02image 03image 05image 04image 06

MoT Editor

ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ වැදගත් පියවරක් තබමින්, විදේශීය වෘත්තිකයන් සඳහා වන ප්‍රථම ‘ඩිජිටල් නෝමඩ්’ වීසා බලපත්‍රය නිකුත් කිරීමේ නිල උත්සවය පසුගිය දා (26) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිල්ක් රූට් (Silk Route) පැමිණීමේ පර්යන්තයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන හරහා ලොව පුරා විසිරී සිටින තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්, නිදහස් මාධ්‍යවේදීන් සහ ව්‍යවසායකයන්ට ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සිය ගෝලීය සේවා සැපයීමට නිල අවසරය හිමිවේ.

මෙම අවස්ථාවට සහභාගී වූ ගරු, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේ, 21 වන සියවසේ ලෝක ශ්‍රම බලකාය වැළඳ ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවත්, මෙම නව වීසා ක්‍රමය හරහා මෙරටට වෘත්තීය මට්ටමේ විදේශිකයන් ආකර්ෂණය කරගැනීමට හැකිවන බවත්ය. එමෙන්ම ඩිජිටල් යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සහ සම-සේවා අවකාශයන් (Co-working spaces) ප්‍රචලිත කිරීම හරහා ශ්‍රී ලංකාව හුදු සංචාරක ගමනාන්තයකින් එහා ගිය, වෘත්තීයමය වශයෙන් වර්ධනය විය හැකි කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීම රජයේ අපේක්ෂාව බවයි.

ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ (Lonely Planet) වර්ගීකරණයට අනුව 2026 වසරේ හොඳම ගමනාන්තයක් ලෙස යාපනය තේරී පත්වීමද මෙම වැඩසටහනට ඉහළ වටිනාකමක් එක් කරන බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන යටතේ සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට වසරක කාලයක් සඳහා වලංගු, නැවත අලුත් කළ හැකි වීසා බලපත්‍රයක් හිමිවන අතර, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටද මෙරට රැඳී සිටීමටත් දරුවන්ට පෞද්ගලික පාසල්වල අධ්‍යාපනය ලැබීමටත් පහසුකම් සැලසේ. මසකට අමෙරිකානු ඩොලර් 2,000කට වඩා වැඩි ආදායමක් ලබන වෘත්තිකයන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, ඔවුන් මෙරට බැංකු පද්ධතිය සහ දේශීය සේවා භාවිතා කිරීම හරහා මෙරට ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දෙනු ඇත. මෙමගින් දේශීය තාක්ෂණික ප්‍රජාවට ජාත්‍යන්තර වෘත්තිකයන් සමඟ අත්දැකීම් හුවමාරු කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ සැබෑ විභවය ලෝකය හමුවේ ප්‍රචාරය කිරීමටත් සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය වේ.

මෙම අවස්ථාවට ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල මහතා, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය, ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි සිය අනන්‍යතාවය අලුත් කර ගැනීමක් ලෙස හඳුන්වා දිය හැකිය. ඉදිරි මාස කිහිපය තුළ ලෝක වෙළඳපොළ ඉලක්ක කරගනිමින් මෙම වීසා බලපත්‍රය ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර, එමගින් විදේශ විනිමය ආකර්ෂණය කර ගැනීම මෙන්ම මෙරට ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමද අපේක්ෂා කෙරේ.

image 01image 02image 03image 05image 04image 06